A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක ස්ථාපිත කෙරේ

අමානා බැංකුව August 31, 2023

ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් අමානා බැංකුව සිය ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක පිහිටුවීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි, එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, අධ්‍යක්ෂවරුන් වන ඩිල්ශාන් හෙට්ටිආරච්චි, ටිෂාන් සුබසිංහ සහ මොහොමඩ් ඇඩම්අලී, උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් සහ සහකාර උප සභාපති හා ආයතනික බැංකුකරණ ප්‍රධානී රාජේන්ද්‍ර ජයසිංහ යන මහත්වරුන් සහ කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම ආයතනික බැංකුකරණ කාර්යාලය අමානා බැංකුවේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ 5 වන සහ 6 වන මහල්වල පිහිටා තිබීම ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු නිසැක ය. පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීමේ හැකියාව සහිත කාර්යාල පහසුකම් ඇතුළුව, ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් සැලසීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙම ආයතනික බැංකුකරණ පරිශ්‍රය සතුව පවතී.

ජාත්‍යන්තර වෙළඳ කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම කාලීන වශයෙන් වැදගත් වන බැවින්, එම අංශයද අමානා බැංකුවේ ආයතනික බැංකුකරණ කාර්යාල පරිශ්‍රය තුළම පිහිටුවා තිබේ. මෙම ක්‍රමෝපායික තීරණය මගින් ආනයන හා අපනයන කටයුතුවලට අදාළ මූල්‍ය පහසුකම් වඩාත් ඉක්මනින් සැපයීමට අවස්ථාව ලැබෙනු ඇති අතර, ලොව පුරා විසිරුණු 60 කට අධික ජාත්‍යන්තර නියෝජිත බැංකුකරණ සේවා ජාලය මෙම සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීමට දායක වනු ඇත.

අමානා බැංකුවේ ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක ස්ථාපිත කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන්, එම බැංකුවේ උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “ ආර්ථික අර්බුදය පැවති කාලසීමාව තුළ සමස්ථ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඖෂධ, ආහාර සහ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යමින්, රටේ යහපත උදෙසා අපගේ ආයතනික ගනුදෙනුකරුවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළා. ඒ අනුව අපගේ ඉලක්කය වන්නේ, අපගේ අගයන් ඔස්සේ මෙම ගණුදෙනුකාර සමාගම් හා ආයතනවලට හුදෙක් මූල්‍ය ආයතනයක සීමාවෙන් ඔබ්බට ගිය සේවාවක් ලබාදීමටයි. ඒ ඔස්සේ ඔවුන්ගේ සාර්ථකත්වයට උරදෙන ක්‍රමෝපායික හවුල්කරුවෙකු බවට පත්වීම අපගේ අරමුණ වී තිබෙනවා. මෙම කාර්යාලය මෙලෙස නව ස්ථානයක පිහිටුවීම, ආයතනික ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබා දීමට අප දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරක්. මැනැවින් පුහුණව ලත් අපගේ පාරිභෝගික සබඳතා නිලධාරීන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගින්, අපගේ ආයතනික බැංකුකරණ ගනුදෙනුකරුවන්ගේ දියුණුවට මහෝපකාරී වන පහසුකම් හා සේවාවන් සැලසීමට අප සූදානම්.”

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “රටේ ආර්ථිකයේ පුනර්ජීවනය උදෙසා කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ක්ෂේත්‍රය සහ වෙළෙඳ ක්ෂේත්‍රය ඇතුළුව ආර්ථිකයේ සෑම අංශයකටම දායක වෙමින් සමාගම් හා අපගේ ආයතනික ගනුදෙනුකරුවන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරනවා. ඒ අතර පුනර්ජනනීය බලශක්තිය වැනි තීරණාත්මක ක්ෂේත්‍රවල ද ප්‍රගතියක් අත්කර ගනිමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමට ද උරදෙන මෙම ප්‍රයත්නවල කොටස්කරුවෙකු වීමට අමානා බැංකුවට හැකි වීම අපට මහත් සතුටක්. මේ වනවිට අපගේ ආයතනික ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, එවැනි පසුබිමක් තුළ ආයතනික බැංකුකරණ කාර්යාලය වැඩි පහසුකම් සහිත ස්ථානයක ස්ථාපිත කිරීම, වඩාත් ආකර්ෂණීය ලෙස අපගේ සේවාවන් ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීම සඳහා අප දරන නිරන්තර උත්සාහයට සාක්ෂි දරනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp