A- A A+
සෙවීමට
  • Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුව තෝප්පූර් හිදී ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

අමානා බැංකුව April 21, 2022

අමානා බැංකුවේ විසි වැනි ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථානය පසුගියදා තෝප්පූර් ප්‍රදේශයේදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට අමානා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉම්තියාස් ඉක්බාල් මහතා සහ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවි) සිද්දීක් අක්බාර් මහතා ප්‍රමුඛව බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, ගනුදෙනුකරුවන් හා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්වූහ. මෙම ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථානය භාවිතයෙන් ගනුදෙනුකරුවන්ට සෑම දිනකම පැය 24 පුරාම මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම සිදුකළ හැකි වේ.

තෝප්පූර් ප්‍රදේශයේ ඉතාමත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක, එනම් අංක 02, ප්‍රධාන වීදිය, තෝප්පූර් යන ස්ථානයේ මෙම ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථානය පිහිටා තිබේ. මෙම ප්‍රදේශයේ ඇති එකම ATM සහ CDM පහසුකම මෙය වීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ අලෙවි) සිද්දීක් අක්බාර් මහතා මෙසේ පැවසී ය. “අපගේ විසිවැනි ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථානය විවෘත කරමින්, තෝප්පූර් ප්‍රදේශයේ ජනතාවට අපගේ සුවිශේෂී බැංකුකරණ ආකෘතිය හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ දක්වා කිසිදු ආයතනයක් මෙම ප්‍රදේශයේ ATM හෝ CDM යන්ත්‍ර ස්ථාපිත කර තිබුණේ නැහැ. එම පහසුකම් ලබාගැනීම සඳහා තෝප්පූර් ප්‍රදේශයේ ජනතාවට දිගු දුරක් ගෙවා වෙනත් නගර වලට යාමට සිදුවුණා. මේ ආකාරයට දුරබැහැර ප්‍රදේශ වල ස්වයං බැංකුකරණ සේවා මධ්‍යස්ථාන විවෘත කිරීම පිළිබඳව අපට ජනතාවගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ වැඩි පිරිසකට මෙම පහසුකම් භාවිතා කිරීමේ අවස්ථාව සලසා දීමයි. ඉදිරියේදී මෙම සංකල්පය රටේ තවත් ප්‍රදේශ රැසක් වෙත ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි 2021 සැප්තැම්බර් මාසයේදී Fitch Ratings Sri Lanka ආයතනය අමානා බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘BB+(lka) with a Stable Outlook’ ලෙස තහවුරු කළේ ය. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp