2021 වසරේ ප්‍රථම කාර්තුව තුළ මුහුණ දීමට සිදුවූ ආර්ථික අභයෝග හමුවේ පවා ශක්තිමත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරමින්, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 20% ක බදු වලට පෙර ලාභයක් වාර්තා කිරීමට අමානා බැංකුව සමත් විය. 2020 වසරේ ප්‍රථම කාර්තුවේ, එනම් COVID-19 රෝග ව්‍යාප්තියේ ආරම්භයට ප්‍රථමයෙන් වාර්තා කළ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී 20% ක බදුවලට පසු ලාභයක් මෙලෙස වාර්තා කරගැනීමට සමත් වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. මේ අනුව, 2020 වසරේ ප්‍රථම කාර්තුවේ වාර්තා කළ බදුවලට පසු ලාභය වූ රු. මිලියන 180.2 කට සාපේක්ෂව, මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී බදුවලට පසු ලාභය ලෙස රු. මිලියන 217.1 ක් වාර්තා කිරීමට අමානා බැංකුවට හැකියාව ලැබී තිබේ. පාරිභෝගික අත්තිකාරම් සම්බන්ධයෙන් මෙතෙක් කාර්තුවකදී වාර්තා කළ ඉහළම ප්‍රතිඵල වාර්තා කිරීමටද බැංකුව සමත් වූ අතර, එය 10% කින් හෙවත් රු. බිලියන 6.1 කින් වර්ධනය වී තිබේ.
මේ ආකාරයට බැංකුවේ අත්තිකාරම් වර්ධනය වීම සහ 3.7% ක යහපත් මූල්‍ය සම්පාදන ආන්තිකය හේතුවෙන් බැංකුවේ ශුද්ධ මූල්‍ය සම්පාදන ආදායම පෙර වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 10% කින් වර්ධනය වී, කාර්තුව අවසානයේදී රු. මිලියන 892.0 මට්ටමට පැමිණ තිබිණි. අක්‍රීය අත්තිකාරම් ගණනය කිරීමෙන් අනතුරුව ශුද්ධ මෙහෙයුම් ආදායම රු. මිලියන 934.2 ක් විය. වියදම් අවම කිරීම සඳහා බැංකුව අඛණ්ඩව දරමින් සිටින උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස, 2020 වසරේ ප්‍රථම කාර්තුවට සාපේක්ෂව මෙහෙයුම් වියදම් 7% කින් අඩුවී ඇති අතරම, මූල්‍ය සේවාවන් සඳහා අයකරනු ලබන අගය එකතු කළ බදු වලට පෙර මෙහෙයුම් ලාභය 18% කින් වර්ධනය වී, මිලියන 308.8 ට පැමිණ තිබේ. ප්‍රථම කාර්තුව සඳහා බැංකුවේ සමස්ත බදු දායකත්වය වන රු. මිලියන 178.1, සියලු බදු වලට පෙර බැංකුවේ මෙහෙයුම් ලාභයෙන් 58% කි. අදාළ කාලසීමාව තුළ බදු වලට පසු ලාභය රු. මිලියන 130.6 ක් ලෙස වාර්තා විය.
කාර්තුව තුළදී බැංකුවේ පාරිභෝගික තැන්පතු රු. බිලියන 4.2 කින්, එනම් 5% කින් වර්ධනය වී රු. බිලියන 87.7 මට්ටමට පැමිණ ඇත. ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA ratio) 45.7% ක් වැනි යහපත් මට්ටමක පවත්වා ගන්නා අතරම මෙම තැන්පතු වර්ධනය ළඟා කරගැනීමට හැකිවී තිබේ. 2020 වසර අවසානයේ රු. බිලියන 62.6 ක් වූ පාරිභෝගික අත්තිකාරම් ප්‍රමාණය, මෙම කාර්තුව අවසානයේ රු. බිලියන 68.7 දක්වා වර්ධනය වී ඇත. පසුගිය දෙසැම්බරයේදී සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 100 ඉක්මවූ අමානා බැංකුව, 2021 මාර්තු 31 වනවිට එය තවත් 6% කින් වර්ධනය කරගෙන ඇති අතර, ඒ වනවිට බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 106. 5 ක් විය.
අභියෝගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ, බැංකුව නිකුත් කළ ණය ප්‍රමාණය වර්ධනය වුවද, දිගින් දිගටම තම සේවා එකතුව දැඩි ලෙස කළමනාකරණය කිරීමටත්, කාලීන ලෙස ගනුදෙනුකරුවන් හා සම්බන්ධතා පවත්වා ගැනීමටත් බැංකුව කටයුතු කර තිබේ. ඒ හේතුවෙන්, 2020 වසර අවසානයේ 1.4% ක් වූ ශුද්ධ අක්‍රීය වත්කම් ප්‍රතිශතය මෙම කාර්තුව අවසානයේ 0.7% දක්වාද, 4.0% ක් වූ දළ අක්‍රීය අත්තිකාරම් අනුපාතය 3.3% දක්වාද අඩුකර ගැනීමට බැංකුවට හැකිවී ඇත.
ප්‍රථම මාස 3 තුළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. "පසුගිය වසරේදී පෙන්නුම් කළ, අභියෝග වලට මුහුණ දීමේ හැකියාව ඔස්සේ ඉදිරියට යමින්, 2021 වසරේ පළමු කාර්තුවේදී අමානා බැංකුව ඉතා යහපත් ක්‍රියාකාරීත්වයක් වාර්තා කරගෙන තිබීම මට මහත් සතුටක්. ඒ වෙනුවෙන් මා අපගේ ගනුදෙනුකරුවන්ටත්, කාර්ය මණ්ඩලයටත්, කොටස් හිමිකරුවන්ටත් ස්තූතිය පළකර සිටිනවා. මෙම කාර්තුව තුළ අපගේ මුල්‍ය අත්තිකාරම් වල ඉතාමත් හොඳ වර්ධනයක් දක්නට ලැබීම මගින් පෙනී යන්නේ, අපගේ ජනතා හිතවාදී මූල්‍ය විසඳුම් සම්බන්ධයෙන් ජනතාව අතර ඇති උනන්දුව හා පිළිගැනීම වැඩි වෙමින් පවතින බවයි. 2021 වසරට අප ලබාගෙන ඇති මේ සාර්ථක ආරම්භය, වසරේ ඉදිරි කාලය තුළ වඩාත් යහපත් ප්‍රතිඵල වාර්තා කරගැනීමට අපට උපකාරී වේවි. එමෙන්ම, අමානා බැංකුවේ ක්‍රමෝපායික අවධානය යොමුවන ප්‍රධාන අංශයක් වන, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයේ මතුවෙමින් පවතින අවස්ථා වලින් ප්‍රයෝජන ලැබීමට ඉතාමත් සුදුසු තත්ත්වයක අප සිටින බව මා විශ්වාස කරනවා. මේ ඔස්සේ අපට රටේ ආර්ථිකයේ පුනර්ජීවනයට හා වර්ධනයට දායක වීමටත් හැකියාව ලැබේවි."
අභියෝග වලට මුහුණ දෙමින් පෙන්නුම් කළ සාර්ථක ක්‍රියාකාරීත්වය වෙනුවෙන්, එක්සත් රාජධානිය පදනම් කරගත් 'Global Banking & Finance Review' මගින් අමානා බැංකුව වෙත මෑතකදී සම්මාන 3 ක් පිරිනමන ලදි. ශ්‍රී ලංකාවේ ඉහළම ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බැංකුකරණ ආයතන අතර තම ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, 'වේගයෙන්ම වර්ධනය වන පාරිභෝගික බැංකුව - ශ්‍රී ලංකාව' ලෙස ඇගයීමට ලක්වීමට අමානා බැංකුවට හැකි විය. එමෙන්ම, විශේෂයෙන්ම Expat Gold සේවාව හරහා, විදේශයන්හි පදිංචි හා සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සේවාවන් සැලසීමට අමානා බැංකුව ගන්නා උත්සාහය වෙනුවෙන් 'විදේශගත පුරවැසියන් සඳහා විශිෂ්ටතම බැංකුකරණ සේවා - ශ්‍රී ලංකාව' සම්මානයද අමානා බැංකුව වෙත පිරිනමන ලදි. ඊට අමතරව, බැංකුවේ ප්‍රජා සත්කාර වැඩසටහන වන OrphanCare වැඩසටහන ඔස්සේ, COVID-19 රෝග ව්‍යාප්තිය අතරතුර පවා, දෙමාපිය රැකවරණය අහිමි දරුවන් 3,000 කට අධික පිරිසකට සෙත සැලසීමට කටයුතු කිරීම වෙනුවෙන් 'විශිෂ්ටතම ආයතනික ප්‍රජා සත්කාර බැංකුව - ශ්‍රී ලංකාව' සම්මානයද අමානා බැංකුව වෙත පිරිනැමීමට Global Banking & Finance Review කටයුතු කළේ ය.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි කේවල ආයතනයකි. එහි ප්‍රධාන කොටස්කරු වන, ජෙඩා නගරය පදනම් කරගත් IsDB සමූහය එහි කොටස් වලින් 29.97% ක ප්‍රතිශතයකට හිමිකම් කියයි. IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. ‘ඕෆන්කෙයා’ භාරය (OrphanCare Trust) හැර අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැත.