• Amãna Bank PLC Blog Detail - Main Visual

අමානා බැංකුවේ කොටස් ඒකාබද්ධකරණයට කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වේ

අමානා බැංකුව July 30, 2024
  • ඒකාබද්ධකරණයෙන් පසු කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 40 ඉක්මවනු ඇති අපේක්ෂා කෙරේ.

අමානා බැංකුවේ කොටස් ඒකාබද්ධ කිරීම සඳහා කොටස් හිමියන්ගේ අනුමැතිය ලැබුණු බව එම බැංකුව විසින් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දෙන ලදි. කොටස් හිමිකරු වටිනාකම වර්ධනය කිරීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන් මෙය ආයෝජකයන්ගේ ඇගයීමට ලක් විය. එමෙන්ම මෙම පියවර, අමානා බැංකුව පසුගිය කාලය තුළ අත්කරගත් විශිෂ්ට කාර්යසාධනය සහ මෑතකදී හිමිකම් නිකුතුව හරහා ලැබුණු රු, බිලියන 6 ක ප්‍රාග්ධනය මෙන්ම බැංකුවේ අනාගත සැලසුම්ද මැනැවින් නිරූපණය කරයි.

2023 වසරේදී තම ඉතිහාසයේ විශිෂ්ටතම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කළ අමානා බැංකුව, 2024 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුවේදීද තම සුපුරුදු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වී තිබේ. ප්‍රථම කාර්තුවේ බදු-පසු ලාභය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 91% කින් වර්ධනය වී ඇති අතර, නිකුත් කළ අත්තිකාරම් 8% කින් වර්ධනය වී තිබේ. මෙම ප්‍රතිඵල මගින් පෙනී යන්නේ, අමානා බැංකුවේ මානුෂ හිතවාදී හා සංවර්ධනය ඉලක්ක කරගත් බැංකුකරණ ආකෘතිය තවදුරටත් ජනප්‍රිය වෙමින් පවතින බවයි. බැංකුවේ තුන්වැනි පෙළ අක්‍රීය ණය අනුපාතය, ක්ෂේත්‍රයේ අවම අගයක් වන 1.6% මට්ටමේ පවතින අතර, කාර්යක්ෂම ලෙස අවදානම් කළමනාකරණය කරගැනීමට බැංකුව සමත් වී ඇති බවට එය මනා සාක්ෂියකි. ඊට අමතරව කොටස් හිමිකරුවන්ට වැඩි ප්‍රතිලාභ සහතික කරමින් කොටස් මත ප්‍රතිලාභය 6.2% සිට 7.85% දක්වා වර්ධනය වී තිබේ.

පසුගිය වසර 6 පුරාම අඛණ්ඩව තම කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමටද අමානා බැංකුව පියවර ගෙන ඇත. ලාභාංශ අනුපාතය මෙන්ම ගෙවන ලද ලාභාංශ ප්‍රමාණය වර්ධනය වීම, ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරන සාධකයක් වී තිබේ. එමෙන්ම අභියෝගකාරී කාලසීමාවකදී හිමිකම් නිකුතුවක් සිදුකරමින් රු. බිලියන 6 ක ප්‍රාග්ධනයක් රැස්කර ගැනීමට සමත් වීම, දේශීය හා විදේශීය කොටස් හිමිකරුවන් සහ ආයෝජකයන් බැංකුවට ශක්තියක් වීම සඳහා ඉදිරිපත් වී ඇති බවට සාක්ෂි දරයි. මෙම ප්‍රාග්ධනය බැංකුවේ මූල්‍ය පදනම තවදුරටත් ශක්තිමත් කරමින්, අනාගත දියුණුව උදෙසා ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන්වලට ප්‍රභල පිටිවහලක් වනු ඇත.

මෙම කොටස් ඒකාබද්ධකරණ වැඩසටහන යටතේ අමානා බැංකුවේ කොටස් දහයකට එකක් ලෙස ඒකාබද්ධ කිරීමට නියමිත ය. ඒ අනුව, ඒකාබද්ධකරණයට පෙර 5,511,257,461 ක් වූ කොටස් සංඛ්‍යාව, ඒකාබද්ධකරණයෙන් අනතුරුව 551,125,746 ක් වනු ඇත. එමෙන්ම 2024 පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල අනුව, ඒකාබද්ධකරණයෙන් අනතුරුව අමානා බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් වටිනාකම රු. 40 ඉක්මවනු ඇත.

මෙම කොටස් ඒකාබද්ධකරණය සම්බන්ධයෙන් අමානා බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසී ය. “මෙම කොටස් ඒකාබද්ධකරණය, කොටස් හිමිකරු වටිනාකම වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවනු ලබන ක්‍රමෝපායික වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සඳහා ආයෝජකයන් වෙතින් ලැබුණු ප්‍රතිචාරවලින් පෙනී යන්නේ, අපගේ වර්ධනය සම්බන්ධයෙන් ඔවුන් විශ්වාසය තබා ඇති බවයි. අපගේ ක්‍රමෝපායික සැලසුම්වලට සමගාමීව තිරසාර වර්ධනයක් ඔස්සේ කොටස් හිමිකරුවන්ට දීර්ඝකාලීන වටිනාකම් පිරිනැමීමට අප අඛණ්ඩව කැප වී සිටිනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ඡායාරූපය: මොහොමඩ් අස්මීර් මහතා - කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී - අමානා බැංකුව

Featured

Hajj 2025

අයදුම් කරන්න
Chat on WhatsApp